සම්භවය - Origin

Posted on June 14, 2024 · 3 mins read · Sinhala · Nuwan Jaliyagoda

"අප පැමිණියේ කොහි සිට ද?"
"අප යන්නේ කොතැනට ද?"

මානව ඉතිහාසයේ ආරම්භයේ ඉදලාම තිබුණ ලොකුම ගැටළු වලින් කීපයක් වන මේ ප්‍රශ්න දෙකට දක්ෂ පරිගණක ඉංජිනේරු වරයෙක් සහ නව නිපැයුම්කරුවෙක් වෙන එඩ්මන්ඩ් කියර්ෂ් පිලිතුරු හොයාගන්නවා. ඒ වගේම ඒ පිලිතුරු වලින් මැවුම්වාදය පිලිගන්න ආගම් හැම එකකම පදනම දෙදරලා යනවා කියලා ඔහු අනුමාන කරනවා.

ස්පාඤ්ඤයේ ගුගෙන්හයිම් කෞතුකාගාරයේ ඉදලා සජීවීව විකාශනය වුණ වැඩසටහනකදි කියර්ෂ් මේ ප්‍රස්න දෙකට පිලිතුරු ලබාදීමට මොහොතකට පෙර නාදුනන වෙඩික්කරුවෙකු ඔහුව ඝාතනය කරනවා.

සංකේත විද්‍යාඥයෙක් සහ කියර්ෂ්ගේ විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක් වූ ආචාර්ය රොබට් ලැන්ග්ඩන්ට‍, කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරිය සහ ස්පාඤ්ඤයේ අනාගත රැජිණ වීමට නියමිත අම්බ්‍රා විඩල්ගේ සහය ඇතුව කියර්ෂ්ගේ දුරකථනයේ මුර පදය විකේතනය කරලා ඔහුගේ ඉදිරිපත් කිරීම ලෝකයට ජනගත කලහැකි වෙයිද? නැතිනම් ඔවුනුත් කියර්ෂ්ගේ ඝාතකයාගේ ගොදුරු බවට පත්වෙයිද?

The Da Vinci Code කෘතියෙන් ලොව සුප්‍රකට කතුවරයෙක් වුණ Dan Brown 2017 දී එලිදක්වපු Origin පොතේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය "සම්භවය" නමින් පරිවර්තනය කරන්නේ කුමාර සිරිවර්ධන විසින්.

මේ දවස් වල trending topic එකක් වෙන කෘතිම බුද්ධිය ගැනත් ඒකේ අනාගතය කොයි විදිහට යයිද කියලාත් මේ පොත කියවන අයට හොද අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.

අනිත් පොත් එක්ක සංසන්දනය කලාම කතාව සහ ඇත්තටම තියෙන කලාකෘති අතර මාරයි කියලා හිතෙන සම්බන්ධතාවක් ගොඩනගන්න මේ පොතේදි කතුවරයා පොඩ්ඩක් අසමත් වුණා කියලයි මට නම් හිතුණේ. මේ පොතේදී සම්භාව්‍ය කලාකෘති වලටත් වඩා ටිකක් නූතනත්වයට බර කලා කෘති ගැන තමයි කථා වුණේ. ඒ වගේම මේ මොකක්ද මේ වුණේ කියලා හිතෙන කථාවම උඩු යටිකුරු වෙන අවසානයක් තිබුණෙත් නෑ. අවසානයේ වෙයි කියන දේ පොඩ්ඩක් අනුමාන කරන්න පුළුවන් කමක් තිබ්බාත් කථාව පුරාම ඊලගට මොකක් වෙයිද කියලා දැනෙන කුතුහලේ නම් අඩුවක් වුණේ නෑ.

හැබැයි එඩ්මන්ඩ් කියර්ෂ් ගේ ඉදිරිපත් කිරීම ඇත්තටම උඩ කියපු ප්‍රස්න දෙකට හරිම සාධාරණ උත්තර දෙකක් ලබාදෙනවා. ඒ අතින් බැලුවොත් නම් ප්‍රබන්ධයක් තුලින් වුණත් කතුවරයා ඉතා සාර්ථක විදිහට මානව ඉතිහාසයේ වැදගත්ම ප්‍රස්න දෙකට උත්තර දීලා තියෙනවා.