Frankenstein ගේ කථාව හෙවත් 'මාරක පොරොන්දුව'

Posted on May 16, 2024 · 3 mins read · Sinhala · Nuwan Jaliyagoda

Frankenstein ගේ කථාව හෙවත් 'මාරක පොරොන්දුව'

"මාරක පොරොන්දුව" කියන්නේ මං පොඩි කාලේ කියවපු පොතක්. Frankenstein කියන පොතේ සංශිප්ත සිංහල පරිවර්තනයක්. ෆ්‍රෑන්ක්ස්ටයින් කියලා විද්‍යාඥයෙක් එයාගේ පරීක්ෂණ වලින් මිනිස් කොටස් එක් කරලා හදපු සිරුරකට එයාම හොයාගත්ත ක්‍රමයකින් පණ දෙනවා. එතනින් එහාට වෙන සිද්ධි දාමය තමයි ඒ පොතේ තිබුණේ. ඒ කාලේ එහෙම හදපු මෘගයා ගැන දැනුනේ බයක් සහ ඒ නරක කෙනෙක් කියලා සිතුවිල්ලක්.

ඒත් මේ ලගදි ඒ පොතේම අසංශිප්ත සිංහල පරිවර්තනයක් දැකලා ඇරන් කියවලා බැලුවා. අවුරුදු 15කට පස්සේ ඒ කථාවම කියවද්දී ඒක දැනුනේ වෙනස්ම විදිහකට. කලින් වතාවේ අර ෆ්‍රෑන්ක්ස්ටයින් විසින් හදපු කෙනා (පොතෙන් ඒ චරිතෙට නමක් දීලා තිබුණේ නෑ. ඒ වෙනුවට භූතයා කියලා හදුන්වලා තිබුණ නිසා මාත් ඒ වචනෙම පාවිච්චි කරන්නම්) ගැන ගොඩක් ලොකු දුකක් කණගාටුවක් දැනුණා.

විරූපී පෙනුමක් තිබුණ නිසා නිර්මාපකයාගෙන් ප්‍රතික්ෂේප වුණ නිසා වේදනාවටත්, තමන්ගේ වර්ගයාගේ ඉන්න එකම කෙනා නිසා තනිකමටත්‍, දිගින් දිගටම මිනිස්සුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් වලටත් මූණදෙන්න වුණා. අවුරුදු කීපයකට පස්සේ තමන්ගේ නිර්මාපකයා හොයාගෙන යන මේ භූතයාගේ එකම ඉල්ලීම වු⁣ණේ තමන්ගේ ජීවිතේ ඉතිරි කාලය වෙනුවෙන් "ආදරය කරන්න‍, ජීවිතේ බෙදාගන්න ජීවන සහකරුවෙක්ව නිර්මාණය කරලා දෙන්න" කියන එකම එක ඉල්ලීම විතරයි.

මේකට මුලදි එකඟවුණත් ෆ්‍රෑන්ක්ස්ටයින් ඒක ගැන අන්තිම මොහොතේ එයාගේ අදහස වෙනස් කරගන්නවා. ප්‍රතිඵලය විදිහට අර භූතයා එයා පොරොන්දු වුණ විදිහටම ෆ්‍රෑන්ක්ස්ටයින්ගේ ජීවිතේ ආදරේ කරන හැමෝවම එයාගෙන් උදුරගන්නවා. කථාව ඛේදවාචකයකින් ඉවර වෙනවා.

පලිගැනීම සාධාරණීකරණය කරන්න බැරි වුණත් ඒකට හේතුව සලකා බැලුවාම ඒ භූතයා ගාන ලොකු කණගාටුවක් දැනෙනවා. ලෝකය ඉස්සරහා තනි වෙන එක‍, අදහස් බෙදාගන්න කෙනෙක් නැති වෙන එක‍, ආදරයක් නොලැබෙන එක‍, කොයිතරම් උදව් කලත් අන්තිමට ප්‍රතික්ෂේප කිරීමට ලක්වෙන එක කෙනෙක්ව කොයිතරම් වෙනස් කරනවාද කියන එක කථාව තුලින් පැහැදිලි කරලා දෙනවා.

කෙනෙක්ගේ බාහිර පෙනුමට වඩා අපි ඇතුලාන්තය ගැන සලකන්න ඕන කියලාත් (ඒක ප්‍රායෝගිකව ටිකක් අමාරු වුණත්)‍, කෙනෙක්ව විනිශ්චය කරන්න යද්දී අපිට පේන ක්‍රියාවට වඩා ඒ කෙනාගේ අරමුණ තේරුම්ගන්න උත්සාහ කරලා බලන එකේ වැදගත්කම ගැනත් පාඩමක් අපිට ඒ පොතෙන් කියාදෙනවා.