ඕගීගේ කථාව

Posted on October 17, 2024 · 5 mins read · Sinhala · Nuwan Jaliyagoda

"මට මැජික් ලාම්පුවක් හම්බවු⁣ණොත් මං ප්‍රාර්ථනා කරනවා‍, කාගේවත් විශේෂ අවධානයක් නොලැබෙන මුහුණක් ලැබෙන්න කියලා. මං පාරේ ඇවිදගෙන යනකොට කාටවත් මාව පේන්නේ නැතිවෙන්න ඕන කියන දේ වගේම මාව දැක්ක ගමන් එක පාරට අහක බලාගන්න එකත් වෙනස් කරගන්න පුළුවන් නම්"

ඔගස්ටස්‍, ⁣එහෙමත් නැත්තම් ඕගී කියන්නේ අවුරුදු 10ක ළමයෙක්. හැබැයි සාමාන්‍ය ළමයෙක් කියන්න නම් පොඩ්ඩක් අමාරුයි. බොහොම දුර්ලභ ජාන විකෘතියක් (Mandibulofacial Dysostosis) නිසා අසාමාන්‍ය මුහුණක් ලබපු‍, අවුරුදු 10ක් ඇතුලත ශල්‍යකර්ම 27කට මුහුණදෙන්න සිද්දවුණ ළමයෙක්. ඒක කොයි තරම් දරුණුද කිව්වොත් එකපාරක් ඕගීගේ මූණ දිහා බලන කෙනෙක්ට ආයේ ඒ දිහා බලන්න විශේෂ ධෛර්යයක් ඕන වෙනවා.

මුලින්ම ඉස්කෝලෙකට යන එක‍, ඒකත් පහ වසර පන්තියකට එකතු වෙන එක ඕගීට සෑහෙන අභියෝගාත්මක අත්දැකීමක් වුණා. ඕගීට මූණදෙන්න වෙන ප්‍රශ්න මොනාද‍, ඒකට කොහොමද මූණදෙන්නේ කියන එක තමා පොත පුරාම අපිට දකින්න ලැබෙන්නේ. ඇත්තටම ඕගී ගොඩාක් වාසනාවන්තයි. මොන දේ වුණත් එයාව අත්අරින්නේ නැති‍, හැමවෙලේම එයාව තේරුම්ගන්න උත්සාහ කරන දෙමාපියෝ සහ ⁣වැඩිමහල් සහෝදරියක් ලබන්න තරම්. ඒ වගේම කිසිම ප්‍රශ්නෙකදි එයාව අතඇරියේ නැති හොද යාළුවෝ කීපදෙනෙක් හරි ලබන්න තරම්. ඕගීගේ ජයග්‍රහණය පිටිපස්සේ මේ හැමෝම හිටියා.

හැබැයි මේ පොත ගොඩක් විශේෂ වෙන්නේ ඒ හින්දා විතරක්ම නෙවෙයි. පොත පටන්ගන්නේ ඕගීට එයාගේ කථාව අපිට කියන විදිහට. ඊලගට පොතේ දෙවන කොටස අපිට කියන්නේ ඕගීගේ අක්කා "වියා". තුන්වෙනි කොටස ඔගස්ටස්ගේ පාසලේ එකම මිතුරිය වුණ "සම(ර්)‍". ඊලඟට ජැක්‍, ජස්ටින්‍, මිරෙන්ඩා‍ත් කථාව එයාලාගේ කෝණ වලින් එයාලාට පේන විදිහට අපිට කියනවා. එකම සිද්දිය අපිට කීපදෙනෙක්ගේම කෝණ වලින් දකින්න අවස්ථාවක් හම්බවෙනවා.

පොතේ පිටු 478 ක් තියෙනවා. හැබැයි ඕගීගේ කථාව 377 වෙනි පිටුවෙන් ඉවර වෙනවා. එතකොට ඉතිරි පිටු 100 මොකටද වෙන්කරලා තියෙන්නේ?

ඇත්තටම ඒක තමයි මං මේ පොතේ දකින ලස්සනම දේ. 381 වෙනි පිටුව පුරා ලොකු අකුරෙන් තියෙන්නේ මෙහෙමයි.

සෑම කථාවකම දෙපැත්තක් ඇත.
ජුලියන්ගේ කතාව කියවන්න

මේ වෙද්දී පොත කියවන හැමෝම ඕගීගේ කථාව කියවලා ඉවරයි. කථාවේ දුෂ්ටයා තමා ජුලියන්. ජුලියන්‍, ඕගීට සහ ඕගීගේ යාළුවෙක් වුණ ජැක්ට කොච්චර හතුරුකම් කලාද කියලා මේ වෙද්දී හැමෝම දන්නවා. ඒත් ඒ දේවල් ඇත්තද‍? කථාවේ වීරයාගේ පැත්තට ඇහුම්කන්දෙන අපි දැනගන්නේ ඇත්තම කථාවද? නැත්තන් ඒ කථාව ඇතුලේ අපි දන්නේ නැති වෙනම කථාවක් තියෙන්න පුළුවන් ද? පොතේ ඉතිරි පිටු වෙන්වෙන්නේ ජුලියන් වෙනුවෙන්.

ජුලියන්ගේ කථාව කියවගෙන යද්දී අපිට දැනගන්න පුළුවන් අපි අහන දකින දේවල් ඇත්තටම ඒ විදිහට නෙවෙයි වෙලා තියෙන්නේ කියලා. හැමෝටම එයාලාගේම කථාවක් තියෙනවා. අපේ කථාවේ දුෂ්ටයා වෙන කෙනෙක් සමහර විට එයාගේ කථාවේ වින්දිතයා වෙන්න පුළුවන්.

"ඔයා කරපු දේවල් වැරදියි. ඒත් ඒකෙන් අදහස් වෙන්නෑ ඔයාට හරි දේ කරන්න බැහැ කියන එක... ජීවිතේ තිබෙන හොද දේ තමයි‍, අපිට කරපු වැරදි කවදා හරි නිවැරැදි කරගන්න හැකි වීම. අපි ඒවායින් ඉගෙන ගන්නවා. අපි ක්‍රමයෙන් හොඳ වෙනවා.... එක වැරැද්දකින් ඔයාව මනින්න බෑ ජුලියන්‍, ඔයාට තේරුණාද මං කියන දේ? ඔයා ඊළඟ සැරේ හොඳට වැඩ කරන්න"

මං හිතනවා මේ පොත කියවලා ඉවර කරන හැමෝම ජුලියන්ට සමාව දෙනවා කියලා. ඒ වගේම මේ ලෝකේ 100% නිවැරදි වත් 100% වැරදි වත් මිනිස්සු නෑ. ඉතින් හැමෝගෙම අතින් වැරදීම් වෙන්න පුළුවන්. අපිට වැරැද්දක් විදිහට පේන දේවල් සමහර විට ඒ කෙනා හිතලා කරන දෙයක් නොවෙන්න පුළුවන්.

ඒ නිසා හැමෝටම එයාලාගේ වැරදි තේරුම් ඇරන් දෙවෙනි අවස්ථාවක් ලබෙන්න ඕන.


R.J. Palacio 2012 දි ඇගේ පළවෙනි නවකථාව ලෙස පලකළ "Wonder" කෘතියේ සිංහල පරිවර්තනය ඇසුරිනි. සුසර ප්‍රකාශන යටතේ මේ පොත සිංහලට පරිවර්තනය කරන්නේ අෂානි ශාලිකා රණසිංහ.