ගිය සතියේ මං The Wheel of Time පොත් මාලාව අවසන් කළා. පොත් 14ක් පුරා එක දිගට යන කථාවක් කියන්නේ, තව විදිහකට කිව්වොත් සම්පූර්ණ අවුරුද්දක් දවසකට පැය 1-3 අතර එක දිගට කියවපු කථාවක් කියන්නේ, ඒක වෙනම අද්දැකීමක්.
පරිච්ඡේද විදිහට ගත්තොත් 650ක්, පිටු විදිහට නම් 11,000 කට කිට්ටුයි. වචන වලින් නම් මිලියන 4.4ක්.
එකතුවක් විදිහට ගත්තොත් Harry Potter, Game of Thrones (A Song of Ice and Fire), Lord of the Rings කථා මාලා තුනේම එකතුව ගත්තත්, Wheel of Time තරම් දිග නෑ.
අවුරුද්දක් පුරා WoT කථා මාලාව ඇතුලේ ජීවත් වෙලා, කියවලා, අන්තිම පිටුව පෙරලනකොට දැනුණේ තවත් ෆැන්ටසි කතාවක් ඉවර වුණා කියන හැඟීමක් නෙවෙයි. හිතට දැණුන චරිත ටිකක් ජීවිතෙන් ඈත් වුණා, දිග ගමනක් ගිහින් ආවා වගේ හැඟීමක්.
බැලූ බැල්මට මේක සාමාන්‍ය ෆැන්ටසි කතාවක් වගේ පේනවා. ගොඩක් කථාවල ඉන්නේ ලෝකය බේරාගන්න නියමිත තරුණයෙක්, එයාට උදව්වෙන යාළුවෝ දෙන්නෙක්, අඳුරු බලවේගයක්, මහා සටන්, මැජික්…
හැබැයි WoT පොත් කිහිපයක් ඉදිරියට යනකොට තේරෙනවා මේ කතාව ඇත්තටම ඒ ගැන නෙවෙයි කියලා.
මේ තියෙන්නේ කථා මාලාව පුරාවටම නිතර දකින්න ලැබුණ, මට ගොඩක් දැනුණ කියමනක්:
“Death is lighter than a feather, duty heavier than a mountain.”
අපි සාමාන්‍යයෙන් ඉතිහාසය බලන්නේ ඉදිරියට යන රේඛාවක් විදියට. නමුත් මේ පොතේ එන අදහස වෙනස්. ශිෂ්ටාචාර නැගී එනවා. බිඳ වැටෙනවා. වීරයෝ බිහි වෙනවා. පසුව ඔවුන් පුරාවෘත්ත වෙනවා. කාලයත් එක්ක පුරාවෘත පවා අමතක වෙනවා.
The Wheel of Time turns, and Ages come and pass, leaving memories that become legend. Legend fades to myth, and even myth is long forgotten when the Age that gave it birth comes again. In one Age, called the Third Age by some, an Age yet to come,...
ගොඩක් ෆැන්ටසි කථාවල Protagonist එහෙමත් නැත්තන් කථා නායකයෙක් ඉන්නවා. එයා වටේට එකතු වුණ අනුගාමිකයෝ කණ්ඩායමක් ඉන්නවා. හැමෝම එකතු වෙලා සතුරා එක්ක සටන් කරනවා. ප්‍රධාන චරිතය අන්තිමට ලෝකය බේරාගන්නවා.
හැබැයි WoT වලදි මේ රාමුව සම්පුර්ණයෙන්ම වෙනස් කරනවා. එක ප්‍රධාන චරිතයක් වෙනුවට චරිත 5ක් ඉන්නවා. ඒ හැමෝම එයාලාගේ විදි වලට කථාවට දායක වෙනවා. මේ පස්දෙනා වටේටම එකතු වුණ විවිධ චරිත ගොඩක් තියෙනවා. ඒ කවුරුවත් ම සාමාන්‍යයෙන් අපිට කථා වල හම්බවෙන වීරයෝ වගේ නම් නෙවෙයි. හැමෝටම එයාලාගේ විශේෂ ගති තියෙනවා වගේම එයාලාගේම දුර්වලතා පවා තියෙනවා.
Rand al'Thor ගේ ගමන මට දැනුණේ ලෝකය බේරාගැනීමේ කතාවකට වඩා, තමන්වම බේරාගැනීමේ කතාවක් වගේ. බලය වැඩිවෙන තරමට හුදෙකලාව වැඩිවෙනවා. වගකීම වැඩිවෙන තරමට මනුෂ්‍යත්වය අහිමි වෙනවා. අන්තිමට ලෝකය බේරගන්න කලින්, ඔහුට තමන්ගේ අභ්‍යන්තර අඳුර ජයගන්න ඕන කියන වටින පාඩම අපිට කියලා දෙනවා.
Mat Cauthon වගේ චරිතයක් මම වෙනත් ෆැන්ටසි කතාවක දැකලා නැහැ. වීරයෙක් වෙන්න කිසිම කැමත්තක් නැති, වගකීම් වලින් පුළුවන් තරම් ලිස්සලා යන්න කැමති කෙනෙක්. Gambler කෙනෙක්. (මේකට හරිම සිංහල වචනයක් නෑ. නිකන් සූදුවට කැමති තක්කඩියෙක් වගේ අදහසක් ගන්න) හැබැයි, හරි වෙලාව ආවාම හරි දේ වෙනුවෙන් ඕනම දෙයක් කැපකරන කෙනෙක්. වාසනාව කියන එක උපතින්ම ආවත්, ඒ වාසනාවට එහා ගිහින් කරන කැපකිරීම් ගැන වටින පාඩමක් කියලා දෙනවා.
Perrin Aybara ගේ අභ්‍යන්තර අරගලයත් ඒ වගේමයි. සාමකාමී ජීවිතයක් ගත කරන්න කැමති බොහොම සරල මිනිහෙක්, අහිංසක චරිතයක්. හැබැයි ලෝකය එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නායකයෙක්වය. නපුරට විරුද්ධව සටන් කරන්න පුළුවන් කෙනෙක්ව. ඒ දෙක හරියට සමබර කරන්නේ කොහොමද කියලා අපිට එයාගෙන් ඉගෙනගන්න පුළුවන්.
Rand al'Thor, Mat Cauthon, and Perrin Aybara (Images from wot.fandom.com)
ගොඩක් කථාවල ප්‍රධාන චරිත, වැඩියෙන්ම බලගතු අය වෙන්නේ පිරිමි අය. හැබැයි WoT වලදි ඒකත් වෙනස් වෙනවා. කාන්තා චරිතවලට දීලා තියෙන වැදගත්කමත් විශේෂයි.
Egwene al'Vere කියන්නේ පොඩි ගමක තානායමක අයිතිකරුවෙක්ගේ දුවෙක්. හැබැයි කථාමාලාව ඉවර වෙද්දී ඇය තමයි රජවරු පවා දණ නමන, මේ ෆැන්ටසි ලෝකයේ බලවත්ම තනතුරක් දරන්නේ. හැබැයි ඒ ගමන පොඩ්ඩක්වත් සරළ සුන්දර ගමනක් වුණේ නෑ. ධෛර්යය, කැපකිරීම් වගේම නොපසුබට උත්සාහය ගැන හොද උදාහරණයක් සපයනවා.
Nynaeve al'Meara කියන්නේ ගමේ වෙදදුරුවරිය. ටිකක් හිතුවක්කාර, සැර චරිතයක්. හැබැයි ලෝකයක අනාගතේ වෙනස් කරන්න, බිඳුණු හදවත් සුවපත් කරන්න කරපු දේවල් සම්පූර්ණ කථාමාලාවම වෙනස් කරන්න ගොඩක් බලපෑවා. රළු චරිතයක් ඇතුලේ අහිංසක ආදරණීය හදවතක් තියෙන්න පුළුවන් කියලා Nynaeve අපිට පෙන්නනලා දෙනවා.
Moiraine Damodred, Lan Mandragoran, Elayne Trakand, Min Farshaw, Aviendha, Thom Merrilin, Loial, Siuan Sanche, Verin Mathwin, Alanna Mosvani, චරිත එකින් එක ගැන විස්තර කරන්න ගියොත් දවස් ගාණක් යයි.
Egwene al'Vere, Nynaeve al'Meara, and Moiraine Damodred (Images from wot.fandom.com)
WoT අනිත් ෆැන්ටසි වලින් වෙනස් වෙන තව එක ප්‍රධානම දෙයක් තමයි චරිත ගාණ. සම්පූර්ණ කථාමාලාවම සැලකුවොත් නම් විදිහට සදහන් වුණ, කථාවට කෙලින්ම සම්බන්ධ චරිත 2,700 ක් විතර ඉන්නවා. ප්‍රධාන චරිත විදිහට ගත්තත් එතන 100+ ලැයිස්තුවක් හදන්න පුළුවන්. ඒ හැම චරිතෙකටම ඒ චරිතෙට අදාල පෞර්ෂයක් තියෙනවා. මිනිස්සු විතරක් නෙවෙයි, කථාවේ ඉන්න ප්‍රධාන චරිත වල අශ්වයෝන්ට (Bela, Mandarb, Stepper...) පවා එයාලාගේම ගතිගුණ තියෙනවා.
කථාමාලාව පුරාවට එක එක විදිහේ රටවල් හම්බවෙනවා. එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් සංස්කෘති තියෙනවා. සිරිත් විරිත්, ඇදුම් පැලදුම්, කථාකරන විදි/වචන පවා සම්පුර්ණයෙන් වෙනස්. WoT වල තරම් ගැඹුරට විස්තර වුණ World Building එකක් මට වෙන කථාවල කියවන්න ලැබිලා නෑ.
WoT පළවෙනි පොතේ ඉදලාම ආලෝකය සහ අදුර අතර තියෙන Last Battle (එහෙමත් නැත්තන් පැරණි භාෂාවෙන් කිව්වොත් Tarmon Gai'don) එකට පාඨකයාව ලෑස්ති කරවනවා.
මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට The Last Battle කියනකොට කල්පනා වෙන්නේ දැවැන්ත යුද්ධයක්. එක අතකින් බැලුවොත් ඒක හරි. A Memory of Light, අන්තිම පොත ගත්තාම පටන්ගත්ත තැන ඉදලා ඉවර වෙනකම් තනිකරම යුද්ධයක්. The Last Battle කියන පරිච්ඡේදය විතරක් ගත්තොත් පිටු 200කට වැඩියි. ඒ එක පරිච්ඡේදය විතරක් සාමාන්‍ය ෆැන්ටසි කථාවකට වඩා දිගයි. ඊලඟ පිටුවේ මොනා වෙයිද කියලා පොඩ්ඩක් වත් අනුමාන කරන්න අමාරුයි. පොත් 14ක් පුරා හිටපු චරිත ගොඩක් මේ සටන අතර ජීවිත වලින් සමුගන්නවා. (ඒ නිසාම මේ පරිච්ඡේදය කියවන එක පුද්ගලිකව මට නම් ගොඩාක් අමාරු වුණා.)
හැබැයි ඒ අවසාන සටන, Dragon Reborn සහ The Dark One අතර ගැටුම මට දැනුණේ ටිකක් වෙනස් විදිහකට. ඒක නිකන්ම හොඳ සහ නරක අතර සටනක් විතරක් නෙවෙයි. වීරයා සහ නපුරා අතර අතින් පයින් ගහගන්න හරි, මැජික් වලින් කරන සටනකුත් නෙවෙයි.
කියන ප්‍රශ්නවලට පිළිතුරු හොයන දාර්ශනික සංවාදයක්. (Spoilers නැතුව කියන්න පුළුවන් මේ ගාණට තමා)
ඒක තමයි මට දැනුණ විදිහට WoT කතා මාලාව සාමාන්‍ය ෆැන්ටසි කතාවකින් වෙනස් කරන්නේ.
සම්පූර්ණ අවුරුද්දක් පුරා මාත් එක්ක හිටපු, මගේ හොදම යාළුවෝ වගේ දැනුණ චරිත ආයේ හම්බවෙන්නෑ කියලා කල්පනා වෙද්දි දැනෙන පාළුව...
දවස පුරා ප්‍රශ්න එක්ක ඔට්ටු වෙලා මානසිකව තෙහෙට්ටු වෙලා ඉද්දී, හවසට ඒ හැමදේම අමතක කරලා Westland එකේ ඇවිදපු විදිහ...
ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්න ඕන නිසා ඇස් රිදෙනකම්, පාන්දර වෙනකම් පොත් කියවපු දවස්, කොළඹ ඉදලා නුවරට එනකම් බස් එකේ පැය ගාණක් එකදිගට කියවපු දවස්...
කාලය ගතවෙයි. රෝදය පෙරලෙයි. ජීවන වියමන ගෙතෙයි. හැබැයි ඒ මතක හැමදාටම මාත් එක්කම තියේවි.